උතුරු – නැගෙනහිර පළාත්වල රජය සතු සියළුම වනාන්තර එළි කිරීම් මුළුමුන්න්ම නතරකර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු – නැගෙනහිර පළාත් වල වර්තමානයේ මහාපරිමාන වනාන්තර විනාශයක් සිදුවෙමින් පවතින බවට පැතිර යන ප්රචාර සැළකිල්ලට ගනිමින් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.
මුදා හැර ඇති ඉඩම් හා පසුගිය සමයේ එළි කර ඇති ඉඩම් වලට අමතරව මෙම කාලය තුළ නව එළිකිරීමක් සිදුව නොමැති බවට එම පළාත් වල දිස්ත්රික් ලේකම්වරුන් විසින් ද ප්රකාශ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි
මේ සම්බන්ධයෙන් එම ප්රදේශ වල ප්රාදේශීය ලේකම්වරුන් ද දැනුවත් කර ඇති අතර වන සංරක්ෂණ නිලධාරීන් සමඟ නිරත්තර සාකච්ඡා පවත්වමින් මෙම තත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව දිස්ත්රික් ලේකම්වරුන් ප්රකාශ කර ඇත.
පසුගිය සමය තුළ වන සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් නැවත පදිංචි කිරීම් සඳහා මුදාහැර ඇති ඉඩම් වල හැරෙන්නට වෙනත් රජයේ වනාන්තර වල එළි පෙහෙළි කිරීමක් වර්තමානයේ සිදුනොවන බව ජනාධිපතිවරයා ද පසුගියදා පෙන්වා දුන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනාන්තර එළි පෙහෙළි කරන බවට එල්ල වන චෝදනා පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.







