අවිචාර හා මිනීමැරුම් යුගය අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂය බලකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එජනිස මාතර දිස්‌ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ඇසූ පැනයකට පිළිතුරු දුන් අගමැතිවරයා ජාතික විධායක සභාව නමින් ආයතනයක් පිහිටුවනු නොලැබූ බව ද එය දින සියයේ වැඩසටහන සක්‍රීය කර ගැනීම සඳහා ඇතිකර ගත් මණ්‌ඩලයක් බව ද ප්‍රකාශ කළේය.
රජය එවන් ආයතනයක් පිහිටුවූයේ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට එකඟ වූ සිවිල් සංවිධාන එකතුවෙලා දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කරන්න මණ්‌ඩලයක් ඇති කළා. එයට ජාතික විධායක සභාව කියා කිව්වා. එමගින් අපි දේශපාලන තීන්දු අරගෙන විශාල වැඩ කොටසක් කළා.
මහින්ද යාපා අබේවර්ධන මහතා – ඔබතුමා කියන්නේ ජාතික විධායක සභාව කියා එකක් තිබුණේ නෑ කියලද?
අගමැති – අපට ඕන නමක් දෙන්න පුළුවන්. එක්‌සත් ජාතික පක්‍ෂයෙත් තියෙනවා කෘත්‍යාධිකාරි මණ්‌ඩලයක්. මේකත් එවැනි ආයතනයක්. පාර්ලිමේන්තුවට නිල විපක්‍ෂයක් තියෙනවා. ඊට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයකුත් තියෙනවා. ඒකට අපි මොනවා කරන්නද?
මහින්ද යාපා මහතා – ජාතික විධායක සභාවේ සාමාජිකයෙක් කියන වික්‍රමබාහු කරුණාරත්න මහතා කිව්වා ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්න මේ සභාව තීරණය කළා කියලා.
අගමැති – ජනාධිපතිතුමා රටේ නායකයා වගේම ශ්‍රීලනිපයේත්, එජනිසෙත් නායකයා. එතුමාත් එහි සාමාජිකයෙක්. එතුමා පාර්ලිමේන්තුවට ආවාම ඒක ඇත්තද කියලා අහන්න. මෙතුමා බලකරනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්න කියලා.
මහින්ද යාපා මන්ත්‍රීවරයා යමක් කියයි.
අගමැති – ඔබතුමා කියන්නේ එතුමාගේ නායකයා මිනීමරු සංවිධානයක සභාපති කියලද? කරුණාකරලා තමන්ගේ නායකයාට බනින්න එපා. එතුමා අපේ රටේ මිනීමැරුම් නැති කරන්න අද කවුද මිනී මැරුවේ කියා පෙනෙනවා.
එසේ කී අගමැතිවරයා එජාප මන්ත්‍රී එස්. එම්. මරික්‌කාර් මහතා ඇසූ පැනයකට ද පිළිතුරු දෙමින් මෙසේ කීය.
වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම චීනයට බාරදුන්නත් එම ඉඩමේ සින්නක්‌කර අයිතිය කිසිදු රටකට හෝ සමාගමකට ලබාදෙන්නේ නෑ.
නීතිය අනුවයි මේ ව්‍යාපෘතිය යළි ඉදිකරන්න භාරදුන්නේ. කලින් රජය අත්සන් කර ඉදිකිරීමට නියමිතව තිබූ වරාය නගර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට එහි කිසිදු ඉඩමක් අයිතිව තිබුණේ නෑ. නයිට් රේස් ට්‍රැක් එකක් පමණක් ලංකාවට පැවරීමට සූදානමින් සිටියා.
නව ව්‍යාපෘතිය යටතේ නයිට් රේස් ට්‍රැක් ඉදිකරන්නේ නෑ. පරිසරයට හෝ වෙරළට හානියක් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ.







