අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු 26 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 18 වනදා යළි විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී අල්ලස් කොමිසමට පැමිණෙන අවස්ථාවේ ඒ අවට උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම නියෝගය උල්ලංඝණය කරමින් අල්ලස් කොමිසම අවට උද්ඝෝෂණ කළ බවට ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, රොෂාන් රණසිංහ, එස්.එම්.චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන් ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.
අදාළ නඩුව ඊයේ (17) කැඳවූ අවස්ථාවේ පොලීසිය අධීකරණය හමුවේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කර උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට එම වාර්තා යොමු කර ඇති බවයි.







