වත්මන් ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩි මුරය ජූනී 1 වැනිදා තබන බවත්, ජූනි 9 වැනිදා රජයට හා අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද නාරාහෙන්පිට අභයාරාමයේදී පැවසීය.
එම විශ්වාසභංගය සඳහා දැනට අත්සන් 85ක් ලබාගෙන අවසන් බවත්, ජූනි 9 වැනිදායින් පසු මෙම ආණ්ඩුව යටතේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමට ඒ සමග ඉඩක් නොලැබෙනු ඇති බවත්, හෙතෙම කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ මීළඟ ජන රැලිය මාතරදී ජූනි 12 පවත්වන බවද, එම රැලිය සන්ධානයේ රැලියක් ලෙස පළමු වතාවට පවත්වන බවද ඔහු පැවසීය.
ඊට මන්ත්‍රීන් 75ක් පමණ සහභාගි වනු ඇතැයිද ඉන් පසු රැලිය අනුරාධපුරයේදී පවත්වන බවද, එයට මන්ත්‍රීන් 100ක් පමණ සහභාගි වනු ඇතැයිද හෙතෙම කීවේය.
තමාගේ පුතාත් 4 වැනි තට්ටුවට ගෙනා බවත්, විමල් වීරවංශ මහතාගේ බිරිඳද පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවත්, පැවසූ ඒ මහතා අප ගෙනාවත්, දරුවන් ඒ කටයුතුවලට ගාවා නොගත යුතු බව පෙන්වාදුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳත් මේ ආකාරයට සී.අයි.ඩී එකට ගෙනාවොත් හිතට එතුමාට කවර හැඟීමක් ඇතිවේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ මෛත්‍රී පාලනයක් නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන්නේ වෛරී පාලනයක් බවද හෙතෙම පැවසුවේය.








