FAST NEWS

24×7 Around the Globe

බොදු බල සේනාව ආණ්ඩුවට එරෙහිව වීදි බැසීමේ සුදානමක.

ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්‌ඩ නීති සංග්‍රහ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පත්වලට එරෙහිව සියලු භික්‌ෂූන් වහන්සේලා සහ ජනතාව එක්‌කර ගත් දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (15 වැනිදා) කියා සිටියහ.

මෙම පනත්වල ඇති භයානකකම පිළිබඳව පන්සලක්‌ පන්සලක්‌ ගානේ ගොස්‌ දැනුවත් කරන බවත් මෙය කිසිසේත් සම්මත කිරීමට ඉඩ නොතබන බවත් උන්වහන්සේ පැවසූහ.

සංශෝධිත දණ්‌ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇතැම් වගන්ති කිසිසේත් අර්ථ නිරූපනය කර ගැනීමට නොහැකි යෑයිද ඥනසාර හිමියෝ සඳහන් කළහ.

මෙම පනත් සම්මත වුවහොත් භාෂණයේ හා අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස මුළුමණින්ම අහිමිවී යන බවත් ආණ්‌ඩුව මෙම සංශෝධනයන් ගෙන එන්නේ විදෙස්‌ රටවල හා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත බවත් උන්වහන්සේ කීහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (15 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.