FAST NEWS

24×7 Around the Globe

අය-වැය යෝජනා කිහිපයක් සංශෝධනය කිරීම ජනපති අවධානය.

ජනතාවට ඍජුව බලාපන අය-වැය යෝජනා කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමට යෝජනා කිරීමට හෝ රටට විශේෂ ප්‍රකාශයක් කිරීමට හෝ තීරණය කොට ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සමඟ පෙරේදා (12දා) ජනාධිපතිවරයා කළ සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන තිබේ.

විශේෂයෙන් ඇතැම් අය-වැය යෝජනා සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් කෙරෙන චෝදනා හා විවේචන ගැන ශ්‍රී ලනිප ඇමැතිවරුන් ජනාධිපතිවරයාට දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් මේ සාකච්ඡාවේදී සිදුකර තිබේ.

තේ, පොල්, රබර් මෙන්ම එළවළු වගාවටත් පොහොර සහනාධාරය ලබාදිය යුතු බවට මේ සාකච්ඡාවේදී ශ්‍රී ලනිප ඇමැතිවරුන් දැඩි ලෙසම ඉල්ලීමක් කොට තිබේ. මේ අතර විදුලි මෝටර් රථවලට පනවා ඇති විශාල බද්ද ඉවත් කරන ලෙස හෝ එම වාහනවලට අදාළව කලින් පැවැති බදු ක්‍රමයම තවදුරටත් පවත්වා ගෙන යෑම ගැනද මෙහිදී අදහස් ප්‍රකාශ වී තිබේ.

ජනතාවගේ පැත්තෙන් මුල්කර ගත යුතු අය-වැය යෝජනා ගැන විශේෂ අධ්‍යයනයක් කිරීමට ජනාධිපතිවරයා විසින් කණ්ඩායමකට භාරදී ඇති අතර එම කණ්ඩායමේ නිර්දේශ හා යෝජනා ඇතුළත් වාර්තාව තමා ඉතාලියේ දැනට නියැළෙන සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන විට ලබාදෙන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අය-වැය යෝජනා කිහිපයක් සංශෝධනය කිරීම ගැන මේ සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා අපේක්ෂා කරන සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුවහොත් සංශෝධන යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.