FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සභාපතිගේ චෝදනා ඇමති රාජීත බැහැර කරයි.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් තමා කප්පම් ඉල්ලූ බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, එ‍සේ ඉල්ලුවේ නම් එකී චෝදනා තහවුරු කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එහෙත් සේනාධිපති මහතා තමාගෙන් ඒ සඳහා සාක්ච්ඡා‍වන් ඉල්ලා ඒ පිළිබඳ අදෝනා කරන ටේප් පටයක් ළඟදීම ප්‍රසිද්ධියට පත්වනු ඇතැයි ඔහු කියා සිටියේ අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ අතර මාධ්‍යවේදියෙකු විසින් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇවන්ට්ගාඩ් සභාපතිවරයාගෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවද නුදුරු කාලයේදී ප්‍රසිද්ධියට පත්කරන බවයි.

එලෙස මුදල් ලබාගත් චෙක්පත්වල අංක පවා මේවන විට අනාවරණය කරගෙන ඇති බව රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

තාජුඩීන්ගේ ඝාතන සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශනවල පිටපත් ඕනෑ තරම් ලබාගත හැකි බවත්, එම සිදුවීම කිසිසේත්ම යටපත්වීමට ඉඩ නොතබන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉකුත් රජයේ කටයුතු කළ හා මෙම රජයේද මේවන විට කටයුතු කරන කිහිපදෙනෙක් මෙම සිද්ධිය යටගැසීම සඳහා උත්සාහ කිරීම සත්‍යයක් බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා කියා සිටියේ නාවික කඳවුර පරීක්ෂා කිරීමට ඉඩලබාදුන්නේ විදෙස් රටකට නොව ශ්‍රි ලංකාවද සාමාජිකයෙකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට බවයි.

එය කිසිසේත්ම පාවාදීමක් නොව එසේ ඒ සඳහා ඇතුළුවීමට අවසර ලබා නොදුන්නේනම් වධ කඳවුරක් පවතින නිසා ඇතුළුවීම‍ට අවසර නොදෙන බවට ජාත්‍යන්තර මතයක් නිර්මාණය වීමට හැකියාව තිබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.