FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ අතුරුදන්විමට තවත් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමේ නඩු විභාගය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි බළකායේ ගිරිතලේ කඳවුරේ සේවය කළ නිලධාරීන් තිදෙනාට අමතරව ඊයේ (07) ප්‍රථම වරට ඉදිරිපත් කළ හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා මේ 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ඉහත නිලධාරීන් තිදෙනා මේ 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට හේමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.ඩී. නෙළුන්දෙණිය මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඊයේ 07 ප්‍රථම වරට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යුදහමුදා බුද්ධි බළකායේ සැරයන් මේජර් නෙරංජන් උපසේන සහ කෝප්‍රල් රවින්ද්‍ර රූපසිංහ යන අය අතර, මේ මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ලුතිනන් කර්නල් චම්මි කරුණාරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත රාජපක්ෂ යන අය වෙති.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සැකකාර හමුදා බුද්ධි නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලු සැකකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. ඊට අමතරව ප්‍රථම වරට අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර බුද්ධි නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාටද නියෝග කළේය.