FAST NEWS

24×7 Around the Globe

රට තුළ පොලිස් රාජ්‍යයක් බිහිකරනවා – ගෝඨාභය රාජපක්ෂ

රට තුළ පොලිස් රාජ්‍යක් බිහිකරමින් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය රජයේ රාජ්‍ය නිලධාරීන් රැසක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බව හෙතෙම කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

යුද්ධයෙන් පසුව යුද සමයේ අත්අඩංගුවට ගෙන බූස්ස කඳවුරේ රඳවාගෙන සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ සිදුකළ බවත්, 200 ක පමණ පිරිසක් එහි රඳවා සිටි බවත් ඔහු සඳහන් කළේය.

මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මොවුන්ට යම් යම් ඉලක්ක ලබාදී තිබුණු බව අනාවරණය වූ බවත්, එකී ඉලක්ක සම්පූර්ණ කරනතුරු තම අදහස් වෙනස් කිරීමට මොවුන් අකමැති බව ප්‍රකාශ කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙම සැකකරුවන් අතර මොරිස් සහ ගිරි  යනුවෙන් හඳුන්වන දෙදෙනෙකු සිටි බවත්, කොළඹ සිදුවුණු ත්‍රස්තවාදී දේවල් වෙනුවෙන් මොවුන් සෑහෙන කාර්යභාරයක් ඉටුකර ඇති බවත්, විශේෂයෙන්ම හිටපු යුද හමුදාපතිවරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රහාරකයා කැටුව ගියේද මොරිස් විසින් බවත් හෙතෙම සිහිපත් කළේය.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එවක කෙතරම් වෙහෙසක් දරන්නට සිදුවුණිද යන්න පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා පමණක් මොවුන් නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.