ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපතිවරයා මාධ්‍ය මගින් තමන් ඇතුළුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ අර්ජුන රණතුංග මහතා කප්පම් ලබාගත් බවට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන අපහාසයට වන්දි මුදලක් ලබාගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දිනපතා පුවත් පතකට සඳහන් කර ඇත.
එසේම ඔහු දන්නා සියලු තොරතුරු හෙළි කිරීමට සූදානම් නම් ඇවන්ට් ගාට් සිද්ධියට සම්බන්ධ නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඇවන්ගාට් සභාපතිවරයාට අවස්ථාව ඇතැයිද අමාත්‍යවරයා එම පුවත්පත වෙත සඳහන් කර ඇත.
ඇවන්ට්ගාඩ් ආයතනය විසින් සිදුකළ කටයුත්ත රජයට පවරා ගැනීමත් සමග පසුගිය මාසයේදී පමණක් රුපියල් මිලියන 500 ඉක්ම වූ ආදායමක් ලැබී තිබෙනබවද අමාත්‍යවරයා පවසයි.
තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා කප්පම් ලබාගත් බවට චෝදනා කිරීම නිසා ඒ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, මෙම පැමිණිල්ල පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවත් ඔහු සඳහන් කර ඇත.
පරීක්ෂණ අවසන් වූ පසු තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපතිවරයාට එරෙහිව නඩු පවරන බවද අමාත්‍යවරයා පවසයි.
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා වශයෙන් සියලුම තොරතුරු හෙළි කිරීමට කැමති නම් ඔහුට රජයේ සාක්ෂිකරුවෙකු වශයෙන් වුවද පෙනී සිටිය හැකි බවද සඳහන් කර ඇත.







