FAST NEWS

24×7 Around the Globe

පෝට් සිටි ව්‍යාපෘතිය නැවත අරඹන බව ඇමති රාජීත කියයි.

චීන සමාගමක් සමග ආරම්භ කරන ලද දැනට අතරමග නවතා ඇති පෝට් සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එය නවතා ඇත්තේ ඒ පිළිබඳ වන පාරිසරික වාර්තාව ලැබෙනතුරු මාස 6 ක කාලයකට යයි අමාත්‍යවරයා කියා සිටියේ අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදී ඇවැන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ ඇවන්ට්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමෙන් පසු ලැබුණු ආදායම කෙබඳුද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළමු දින 6 තුළ පමණක් අ.ඩො පන් ලක්ෂ විසි පන්දහසක ආදායමක් ලැබුණු බවත්, ඒ අනුව දිනකට රු.එක්කෝටි විසි පන් ලක්ෂයක පමණ මුදලක් අයවිය යුතුව තිබුණත් ඉකුත් කාලයේ රජයට ලැබී ඇත්තේ දිනකට රු.ලක්ෂ 25 ක පමණ ආදායමක් පමණක් බවත්ය.

ඇවන්ට්ගාඩ් සිද්ධියේ අක්‍රමිකතාවක් සිදු නොවුණු බව කියාපෑමට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුට උපදෙස් ලබාදී තිබුණු බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.