FAST NEWS

24×7 Around the Globe

මිලියන 125 ක අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන්ට ඇප.

රු. මිලියන 125 ක අල්ලස් ගත් බවට චෝදනා එල්ලවී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රේගු අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් තිදෙනා අධිකරණයෙන් ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මොවුන් තිදෙනාට ඇප ලබාදුන් බව අධිකරණ වාර්තාකරු පවසයි.

අද (01) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන  නිමා කර ඇති බව පවසා තිබේ.

එහෙත් සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන නමුත්, සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව එක් පුද්ගලයෙකුට මුදලින් රු. ලක්ෂය බැගින් හා  ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් මත තිදෙනා නිදහස් කරලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

එසේම ශරීර ඇප ලබාදෙන තිදෙනාගෙන් එක් අයෙකු රජයේ සේවකයෙකු විය යුතු බවත්, සැකකරුවන්ට විදේශ ගමන් තහනම් බවත්, සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබේ.

මෙම නඩුව යළි පෙබරවාරි මස 16 දින කැඳවීමට නියමිතය.