රජයේ සේවකයින් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කළ වසර 5ක වාහන දීමනාවට අදාළ මුදල ලබන වසර මුලදී එකවර ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පසුගිය සති අන්තයේ බෙන්තොට දී පැවති වැඩමුළුවේදී එජාප මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ගෙන ආ එම යෝජනාවට අගමැතිවරයාගේ හා මුදල් ඇමතිවරයාගේ එකඟත්වය පලවී ඇත.
රජයේ සේවකයින්ට මෙතෙක් ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කර රුපියල් 15,000ක මාසික දීමනාවක් වසර 5ක කාලයක් සඳහා ලබාදීමට ආණ්ඩුව මෙවර අයවැයෙන් යෝජනා කළේය.
බෙන්තොට වැඩමුළුවේදී එම යෝජනාව එස්.එම්. මරික්කාර් මහතා ඇතළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම විවේචනයට ලක්වි ඇත.
මෙවර අයවැයෙන් මෙම තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට රජය කල යෝජනාවට රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ද අප්‍රසාදය පළ වී තිබේ.
ඒ අනුව, මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවක වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව මෙම සතිය තුළදී පෙර දැනුම් දීමකින් තොරව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු හඟවා සිටී.







