FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍යවරුන්ගෙන් අයවැයට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයක්.

මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවක වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව මෙම සතිය තුළදී පෙර දැනුම් දීමකින් තොරව දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු හඟවා සිටී.

මෙම වැඩවර්ජනයට ආයුර්වේද වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරු, වාස්‌තු විද්‍යාඥයන්, පරිපාලන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති පහළොවක්‌ ද එක්‌වීමට එකඟතාව පළකර ඇතැයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

මේ පිළිබඳ අද (30 දා) සියලු වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කමිටු රැස්‌වීමක්‌ හදිසියේ කැඳවා ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම, රාජ්‍ය සේවකයන්ගේ ඇතැම් ආදායම් උපයන විට ගෙවීමේ බද්දට යටත් කිරීම, රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප සංශෝධනය සිදු නොකිරීම වැනි මෙවර අයවැයේ යෝජනා කිහිපයකට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ද හෙතෙම කීවේය.

මේ පිළිබඳව පසුගිය සිකුරාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්‌ වී සාකච්ඡා කළ බව ද විධායක කමිටුව තීරණය කරන ඕනෑම දිනයක වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට මධ්‍යම කාරක සභාවේ එකඟත්වය ලබාදුන් බව ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

ඒ අනුව අද ඒකාබද්ධ වෘත්තීය කමිටුව රැස්‌වී සාකච්ඡා කරන බව ද ඉන්පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ට සංගමයේ විධායක කමිටුව විසින් වැඩ වර්ජනය ආරම්භ කරන දිනය තීරණය කරන බව ද හෙතෙම කීවේය.