FAST NEWS

24×7 Around the Globe

ගාල්ල – කරාපිටියේ වකුගඩු සැත්කම් නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගින්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධකිරිමේ සැත්කම් දැනට මාසයක පමණ සිට තාවකාලිකව නතර වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යු.එම් රංග පවසයි.

මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 03ක පමණ හිගයක් පවතින බවය. මෙම ඖෂධ ඉතා මිල අධික බවද හෙතෙම පවසයි. මේ නිසා වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවත් දැනට ලැබී ඇති ඖෂධ ප්‍රමාණවත් නොවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දකුණු පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් මෙම තත්වය නිසා දැඩි අසීරුවට පත්ව ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි විසින් මේ වනවිට කරාපිටිය රෝහල තුළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 150ට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත.