FAST NEWS

24×7 Around the Globe

කොළඹට විදුලි බස් රථ සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ බව පැවසීය.

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට ඊයේ (22) පැවති සාකච්ඡාවක එය අවධානයට ලක් වී තිබේ.

එම සාකච්ඡාව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.

ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීම පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබේ.

UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ත් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක් UNDP ආයතනය වෙන්කර ඇති බව ත් එහිදී සාකච්ඡා වී ඇත.