FAST NEWS

24×7 Around the Globe

පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනය නැවත සංශෝධනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව 2022 ජුනි 25 දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වූ සතිය තුළ පාසල් පවත්වන ආකාරය පිළිබදව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන ලදී.

එසේ වුවද පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දන්වා ඇති බැවින් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පාසල් පවත්වාගෙන යාම පිළිබදව යම් ගැටලුකාරි තත්වයක් පවති.

එම නිසා බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කරන ලදී.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ. එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හි පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී ඇත.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබේ.