(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආයෝජන මණ්ඩල ව්‍යාපෘති එක් දිනයකින් අනුමත කරදෙන වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව නව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම්දීමෙන් අනතුරුව පිටත්ව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
රජය අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක තමන් තමන්ගේ සියලු ව්‍යාපාර අතහැර දමා රජයට සහයෝගය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වූ බව ඒ මහතා මාධ්‍ය වෙත කියා සිටියා.
විපක්ෂය සමග එකතු වී රට ගොඩ නැගීමට සුදානම් බවත් ඒ සඳහා විපක්ෂ නායකවරයා සහයෝගය දෙනු ඇති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මෙහිදී සඳහන් කළා.
විපක්ෂය සමග මේ සම්බන්ධයෙන් තමන් කතා කිරීමට සුදානම් බවත් කතා බහ නොකර කටයුතු කිරීමෙන් සහයෝගය නොලැබෙන සඳහන් කරන බවත් පෙන්වා දෙන ධම්මික පෙරේරා මහතා තවදුරටත් කියා සිටියේ සියලු පාර්ශව සමග සුහදව කටයුතු කිරීමට සුදානම් බවයි.
නිතරම තමන් සැලසුමක් අනුව ක්‍රියා කරන පුද්ගලයෙකු බව කියා සිටි ඒ මහතා කල යුතු දේ සම්බන්ධයෙන් සටහන් තබාගෙන තමන් කටයුතු කරන බවත් මාධ්‍ය වෙත කියා සිටියා.
තමන්ට වැඩ පෙන්වීම සඳහා දින 14ක කාලයක් ලබාදෙන ලෙසද ඔහු මෙහිදී කියා සිටියා.








