FAST NEWS

24×7 Around the Globe

නාගරික සංවර්ධන අධිකාරියෙන් දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් නොවිසඳුණු පළාත් පාලන ආයතන ගැටලු විසඳීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා පැවැත්වීමට යයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

ඒ අනුව මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මඟින් ඉදිරිපත් කර නාගරික සංවර්ධන අධිකාරිය සතු මෙතෙක් අනුමැතිය ලබා නොදුන් සැලසුම් සඳහා අනුමැතිය ලබාදීම කඩිනම් කිරීම සඳහා මෙම ජංගම සේවාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජුනි මස 28 දින සිට අගෝස්තු 18 වන දින දක්වා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම කටයුතු සංවිධානය කර ඇත.

ජංගම සේවා පළාත් වැඩසටහන ජුනි මස 28 වන දින නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඇරඹීමට නියමිත ජංගම සේවාව ජුනි මස 29 සහ 30 යන තෙදින එම පළාත තුළම ක්‍රියාත්මක වේ.

වයඹ පළාත තුළ ජූලි මස 06 සහ 07 දෙදින ද, බස්නාහිර පළාත තුළ ජූලි මස 11, 12, 14, 19 දිනයන්හී ද, මධ්‍යම පළාත තුළ ජූලි මස 19, 20, 21 දිනයන්හී ද, දකුණු පළාත තුළ ජූලි මස 25, 26, 27 දිනයන්හී ද, උතුරුමැද පලාත තුළ 27 සහ 28 දෙදින ද, සබරගමුව පළාතේ අගෝස්තු මස 03 සහ 04 දෙදින ද, උතුරු පළාත තුළ අගෝස්තු මස 09 සහ 10 දෙදින ද, ඌව පළාතේ අගෝස්තු මස 17 සහ 18 දෙදිනද ක්‍රියාත්මක වේ.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් අගෝස්තු මස 18 වන දිනෙන් ජංගම සේවය අවසන් වීමට නියමිතය.

අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ දී නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ගැටලු පිළිබඳව ද මෙම ජංගම සේවාවේ දී විශේෂ අවධානය යොමු කෙරේ.

අදාළ ගැටලුව පිළිබඳව ආදර්ශ පිටපත් නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබාදිය යුතුවේ.

ජංගම සේවාව පැවැත්වෙන දින අදාළ නිලධාරීන්ගෙන් දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කල ගැටළුවට අදාළ ආදර්ශ අයදුම් පත්‍රයේ පිටපතක් ද ලබා දිය යුතු බව නගරික සංවර්ධන අධිකාරිය කියයි.