FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය පොහොර නැව ජූලි 06වැනිදා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2022 යල කන්නය හා 2022/23 මහ කන්නයේ පොහොර සැපයීම සම්බන්ධව අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධව පසුගිය සිකුරාදා( 17) පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම යුරියා පොහොර තොගය ඉන්දීය රජය විසින් එම රටේ වී හා ඉඩඉරිඟු වගාව සඳහා ඔමාන් රටෙන් ඇණවුම් කරන ලද්දකි. එමනිසා මෙම පොහොර තොලයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම ලබන මස 06 දින යුරියා පොහොර තොගය ලැබුනු පසු දින කිහිපයක් තුළ ඒවා රටපුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත බෙදා දීමට කටයුතු යොදා ඇත.

හැම නිලධාරියෙක්ම, හැම ආයතනයක්ම පොහොර බෙදා හැරීමේ වැඩ පිළීවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවීමට වග බලා ගැනීම නිලධාරින්ගේ වගකීමක්. කිසියම් වගකිව නිලධාරියෙක් මගින් යම් අක්‍රමිකතාවයක් සිදු වන බවට වාර්තා වුවහොත් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා යැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අපිට අවශ්‍ය රටේ ගොවි ජනතාව මුහුණ දී සිටින පොහොර ගැටළුව විසදීමයි. යම් අය යම් යම් දේ ප්‍රකාශ කළ හැකියි. සමහරුන්ට ආණ්ඩුව මොනවා කළත් වැරදි විදියට තමයි ඒවා දකින්නේ. ඒ අයට දිව්‍ය ලෝකයෙන් අමෘතය ගෙනත් දුන්නත් ඒ අය කියන්නේ අමෘතයට ලුනු මදි කියළයි. ඒ නිසා ඒ අය විවේචන කළාට කමක් නෑ. අපි රජය විදියට අපිට කළ හැකි දේ කරනවා. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.