FAST NEWS

24×7 Around the Globe

මහනුවර ඇසළ පෙරහරට 6,000ක පොලිස් බළ ඇණියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාවට මෙවර 6,000ක පොලිස් බළ ඇණියක් යෙදවීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ආරක්ෂක රාජකාරිය සඳහා යොදාගැනීමට අපේක්ෂිත බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය. මෙවර දළදා පෙරහර මංගල්‍යය ලබන අගෝස්තු 02 දා සිට 12 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

වසර දෙකකට පසුව මහජන සහභාගිත්වය ඇතිව පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ මෙවරය.

පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් ද සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද යෙදෙනු ඇත.

පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ මහනුවර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය.