(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන ණයට අදාළ ගිවිසුම්වලට ඒළැඹීම පිළිබඳ සාකච්ඡා කිරීමට එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතය.
කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් මෙරටට එවන්නැයි අග්‍රාමාත්‍යවරයා පසුගිය 7 දා IMF කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියට දුරකතනයෙන් අමතා ඉල්ලා සිටි අතර අගමැතිවරයාගේ ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) මෙරටට පැමිණෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 9 දා දැනුම් දී තිබිණි.
ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අවසන් කිරීම මත ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු රඳා පවතින බවත්, නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රි ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4 – 5ක පමණ ණය ආධාරයක් බලාපොරොත්තු වේ. මෙම අරමුදලෙන් ලැබෙන ණය ආධාර අපට වෙනත් රටවලින් ආධාර ලබා ගැනීමට මඟ සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ගැනීමට සමගාමීව අප රටට ආධාර ගැනීම සඳහා අන්තර්ජාතික සංසදයක් පිහිටුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ නියෝජිතයන් සමඟ මේ වන විටත් සාකච්ඡා කර තිබේ.








