FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර ආයෝජනයට නවසීලන්තට ඇරයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර පළාතේ පළමුවරට සකස් කරන ලද නව ආයෝජන අවස්ථා පිළිබද විශේෂ වාර්තාව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති මයිකල් ඇපල්ටන් මහතා වෙත ප්‍රදානය කළාය.

මේ හරහා පළාතේ ආයෝජන අවස්ථා ඇති කරලීමට සහාය වන්නැයි ආණ්ඩුකාරවරිය තානාපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළාය.

අද(16) පෙරවරුවේ තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරිය අතර ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම විශේෂ හමුව පැවැත්විණි.

මෙහිදි ආණ්ඩුකාරවරියගේ උපදෙස් මත පළාතේ ක්‍රියාත්මක “තිරසර කිරි ගොවිපළ ව්‍යාපෘතිය” නවසීලන්ත තානාපතිවරයාගේ ඇගයීමට ලක් විය. ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව මෙහිදි තානාපතිවරයා වැඩිදුරටත් ආණ්ඩුකාරවරියට කීවේය.

නවසීලන්තයේ තානාපති කාර්යාලයක් මෙරට පිහිටුවා දැනට වසරකට ආසන්න කාලයක් ගතවන අතර ඒ හරහා මෙරටට පැමිණි පළමු නවසීලන්ත තානාපතිවරයා මයිකල් ඇපල්ටන් මහතා වීමද විශේෂත්වයකි.

දෙරට අතර පවතින සුවිශේෂි කරුණු කාරණා කිහිපයක් පිළිබදව මෙහිදී ආණ්ඩුකාරවරිය සහ තානාපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

එහිදී වත්මන් රජය විසින් ක්‍රියාවට නංවන ලද කාබනික ගොවිතැන අසාර්ථක වීමට හේතුව කවරේදැයි නවසිලන්ත තානාපතිවරයා විමසා සිටියේය. එම වැඩපිළිවෙල දේශපාලනීකරණය වීම නිසා කඩාකප්පල් වූ බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පි. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.