(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන් ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකිය. එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වා දීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. මෙරට අස්වනු බෙදා හැරීමේදී ඉන් 40%ක් පමණ විනාශ වේ. මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කර ගත හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අස්වනු බෙදා හැරීමේදී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීමට ඇති හැකියාව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබී ය.
රජයට අයත්, වගා නො කළ ඉඩම් හඳුනා ගෙන, වගාව සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත කඩිනමින් ලබා දීමට පියවර ගත යුතු ය. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගා කටයුතු සඳහා සූදානමින් සිටියි. එම ආයතන ද කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධ කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි ය.
වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක ඇති අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරිණ. සූර්ය බල විදුලි උත්පාදනයට යොමු වීමෙන් පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දීමට ආයතන මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.
ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.








