FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අමෙරිකානු සංවර්ධන මූල්‍ය ආයතනය අමෙරිකානු සංවර්ධන බැංකුව ලෙස ද හඳුන්වයි.

මෙම අනුමත කරන ලද මූල්‍ය සහායෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බව අ මෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.පළමු ව්‍යාපෘතිය ලෙස කොමර්ෂල් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා දෙනු ඇත.

එම ණය මුදල ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතන වෙත ණය දීම පුළුල් කිරීමටත් කාන්තාවන් හිමිකාරිත්වය දරණ ව්‍යවසාය ආයතන වල ණය පරතරය අවම කිරීමටත් යොදා ගැනෙනු ඇතැයි සදහන් වේ.

දෙවැනි ව්‍යාපෘතිය ලෙස බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණය මුදලක් ලබා දෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදන සමාගමකි.මෙම ණය මුදල සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහාය වනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

තුන්වැනි ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක ණය මුදලක් ‘මාස් ට්‍රොපිකල් ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වෙත ලබා දෙන බව එම නිවේදනයේ සඳහන් වේ.එමගින් කාන්තාවන්ට නව රැකියා අවස්ථා ඇති කිරීමටත් සැපයුම් දාමය වැඩි කරගනිමින් ව්‍යාපාරය පුළුල් කිරීමටත් අවස්ථාව ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.