(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සඳහන්කර ඇත්තේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවට තමන් කෝප් කමිටුවේදී පෙරේදා (10) සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ඊයේ (11) කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවද ඔහු පවසයි.
එසේම දහවෙනිදා තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය 11වෙනිදා ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බවද ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මේ අතර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින්, සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවය.
කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු සිදුකල ප්‍රකාශය කෙටියෙන් මෙසේය,
“ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වනදා වගේ මාව ගෙන්වලා කිව්වා.. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා.. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.”
“ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා.. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා..කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න.. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.” යනුවෙනි.








