FAST NEWS

24×7 Around the Globe

IMF නියෝජිත කණ්ඩායමක් 20වැනිදා දිවයිනට එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන ණය සම්බන්ධයෙන් වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම්වලට එළැඹීම සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන 20 දා මෙරටට පැමිණේ.

කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් මෙරටට එවන ලෙස අග්‍රාමාත්‍යවරයා පසුගිය 7 දා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දුරකතනයෙන් අමතා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවට සහාය වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සූදානම් බව කළමනාකාර අධ්‍යක්ෂවරිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම අවස්ථාවේදී දැනුම් දී තිබේ.

අගමැතිවරයාගේ ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම මේ 20 දා මෙරටට පැමිණෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් අගමැති වික්‍රමසිංහ මහතා වෙත පෙරේදා (9) දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අවසන් කිරීම මත ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරි වැඩකටයුතු රඳා පවතින බවත් නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.