FAST NEWS

24×7 Around the Globe

21වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද (06) ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කෙටුම්පත ඇමැතිවරයා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.

ඒ අනුව, එම කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැති අතර එහිදී ඉදිරිපත්වූ සංශෝධන යෝජනා ද ඇතුළත් කොට නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එකඟ විය හැකි තත්ත්වයකට මෙම කෙටුම්පත ගෙනැවිත් තිබෙන බව ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගිය (03) වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධ ක්‍රමවේදයක් ගැන එහිදී කතා කළ බව පැවැසූ ඒ මහතා ඇමැති මණ්ඩල සාකච්ඡාවෙන් පසු සියලු තොරතුරු මාධ්‍යයට නිකුත් කරන බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපතිවරයට ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතුයි යැයි බලකරලා තිබෙන බවත් ඒ තත්ත්වය පිළිගෙන තමයි අපි ඉදිරියට යන්නේ යැයිද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් කැමැත්තෙන් සිටින අතර, සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂ නවය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් දැනටමත් කැමැත්ත පළ කර ඇත.