(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය ඊයේ(05) අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට 74 හැවිරිදි වියේ පසු වූ ඒ මහත්මිය හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
සුමනා අමරසිංහ මහත්මිය පිපෙන කුමුදු සිනමා පටයෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබෙන අතර සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, සිතක සුවඳ ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්වය දී තිබේ. ඇය, ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් අවස්ථා කිහිපයක දී පිදුම් ලැබුවාය. සිනමා පට 6ක් නිෂ්පාදනය කර ඇති ඇය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදනයේ දී ප්‍රකට කළ රංග ලාලිත්‍ය මෙරට ජන මනසේ අදටත් ජීවමාන වේ.
ශ්‍රී ලාංකේය සිනමා සහ ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ වර්ණවත් වූ තාරකාවක් ලෙසින් වැජඹුණු සුමනා අමරසිංහ මහත්මිය, නිෂ්පාදන කළමනාකාරවරියක ලෙස ද කටයුතු කර තිබෙන අතර ‘සිනමාවේ සූකිරි කෙල්ල’ ලෙසින් ද කලා ලොවේ දී ඇයව ආමන්ත්‍රණය කළාය. පුවත්පත් ආයතනයකින් මෙහෙයවනු ලැබූ ‘ලස්සන මුහුණු තරගාවලියේ’ පළමු තැන දිනා රංගන වරම් ලද දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ මහත්මිය, මෙරට සිනමාවේ නිෂ්පාදනය, ගායනය, සහාය අධ්‍යක්ෂණය, සහාය සංස්කරණය යන අංග සඳහා දායක වූ එකම නිළියද වූවාය.








