FAST NEWS

24×7 Around the Globe

සුවසැරියට ඉන්දීය රජයෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1990 සුවසැරිය ගිලන්රථ සේවය සඳහා ඉන්දීය රජය විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 3.3 ක පරිත්‍යාගයක් සිදු විය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සුවසැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය හර්ෂ ද සිල්වා සහ සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ වෙත මෙම පරිත්‍යාගය ඊයේ(03) සිදු කෙරුණි.

පසුගිය මාර්තු මාසයේදී කොළඹ සුවසැරිය මූලස්ථානයේ කළ සංචාරයේදී පදනම මුහුණ දෙන වෛද්‍ය සැපයුම් හිඟය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දැනුවත් කරන ලදී. එහි දී හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය නාවික හමුදාවට අයත් (INS) Gharial නෞකාව විශේෂයෙන් යෙදවීමට පියවර ගැණුනි.

1990 හදිසි ගිලන්රථ සේවාව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා පැතිරී ඇත. එය ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සහ ඉල්ලුම මත පදනම් වූ සංවර්ධන සහයෝගීතාවයේ දීප්තිමත් උදාහරණයකි. ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22 ක පමණ ප්‍රදාන ආධාරයක් හරහා මෙම ගිලන් රථ සේවාව දියත් කළේය.

පසුගිය මාස දෙක තුළ ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ටොන් 25 කට වැඩි ප්‍රමාණයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 370 කට ආසන්න වේ.