FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ 5800ක් කොරියානු රැකියාවලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

කොරියානු රැකියා සදහා සුදුසුමක් ලබා ඇති ශ්‍රමිකයින් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (02) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කොරියානු රැකියා සදහා පිටත්ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළේය. ඒ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකගවූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික විය.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිතය.

කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා ඉල්ලා සිටි අතර එයටද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා යන මහත්වරුන්ද එක්ව සිටියහ.