FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමති හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්ත මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් සිදු විය.

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී ඊයේ (02) හමුව සිදු විණ.

එහිදී ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය, තරුණ විරෝධතා පිළිබඳව සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම රටේ පවත්නා ආර්ථික, සමාජයීය තත්ත්වය ආදී කරුණු පිළිබඳව විශේෂෙයන් සාකච්ඡා විය.

තව ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මුහුදු සීමා හරහා අනවසරෙයන් ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය වීම යන කරුණු සම්බන්ධෙයන් එහිදී අවධානය යොමු කෙරුණි.

මෙම සාකච්ඡාවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහා නවසීලන්ත රජයේ උපරිම සහය ලබා දෙන බවයි. ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය සඳහා අවශ්‍ය සහය ද ලබා දෙන බව පැවසීය.

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය ශුභාශිංසන පළ කිරීම ද එහිදී සිදුවිය.