FAST NEWS

24×7 Around the Globe

ගෙවුණු මාස 05ට පාස්පෝට් 288,645ක් හදලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ ගෙවුණු මාස 5 ක කාලය තුළදී පමණක් 288,645 දෙනෙකු විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

පසුගිය වසරටම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ 382506 දෙනෙකු සඳහා පමණක් වන අතර මේ අනුව මෙම වසරේ මුල් මාස 5 තුළ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර පැවසුවේ ආර්ථික අර්බුද හමුවේ බොහෝ පිරිසක් විදේශ රැකියා සඳහා යොමුවීමට දක්වන කැමැත්ත හේතුවෙන් මෙලෙස අලුතින් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට පෙළවී ඇති බවයි.

මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට දිගු පෝලීම් දැක ගත හැකි අතර අලුතින් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන හෙයින් ඔවුන්ට දිනයක් හා වේලාවක් www.immigraion.gov.lk වෙබ් අඩවියෙන් හෝ 0707101060 දුරකතන අංකයෙන් කලින් වෙන් කර ගැනීමට පහසුකම් සලසා තිබේ.

වේලාව වෙන් කර ගැනීම අනුව දිනකට 1500 කට වැඩි පිරිසකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් සේවා සපයන අතර එක් දින සේවය මඟින් බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රධාන කාර්යාලය තුළ පමණි. සාමන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය ලේඛන ප්‍රධාන කාර්යාලයට අමතරව, ප්‍රාදේශීය කාර්යාල වෙතද භාර දිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.