FAST NEWS

24×7 Around the Globe

2022 උසස් පෙළ විභාගය ඔක්තෝබර්වලදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම වර්ෂයේ දෙසැම්බර් මස 22 ,23 දක්වා පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 2020 වර්ෂයේ වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් පැවැත්වීමට තිබූ දින සීයක් දරුවන්ට අහිමි වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. 2021 වර්ෂයේ දී ද මෙලෙස පාසල් පැවැත් වීමට තබූ දින දරුවන්ට අහිමි වී තිබේ.

2022 වර්ෂයේ ද යම් ප්‍රමාදයක් සිදු වී ඇති බවත් ,එහෙත් දෙසැම්බර් මස 22 ,23 දක්වා පාසල් පවත්වමින් වර්ෂය අවසාන වන විට අධ්‍යාපනය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ලබන වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් සහ පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය මූලික පියවර මේ වෙනවිටත් ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පාසල් වල පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.