FAST NEWS

24×7 Around the Globe

රවිඳු සහ බිරිය අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිවේගි මාර්ගයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත් තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිය වන නෙත්මි හරින්දික සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

මේ දෙදෙනා ප්‍රදේශය මඟ හරිමින් සිටින අතර, සැකකරුවන්ට සැඟව සිටීමට නවාතැන් දීම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිස් ස්ථානයට 0718591493 හෝ 0472246226 දුරකතන අමතා දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කරයි.

රවිඳු වෙදආරච්චි මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදි රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රකෝපකාරීව අසභ්‍ය වචනයෙන් බැණ වදින අයුරු දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයා වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. ශීතකරණයක් ජීප් රථයක් උපයෝගි කර ගනිමින් අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹට ගෙන ඒමට යෑමේදී මේ තත්ත්වය ඇති වූ බව රවිඳු වෙදආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

තමාගේ ඇඳුමෙන් ඇද තමාට පහර දීමෙන් පසු එම කොටස ඉවත් කර සමාජ මාධ්‍යයට විඩියෝව නිකුත් කර තමන්ගේ චරිතය ඝාතනය කරන්නට උත්සාහ දරන බවට ද ඒ මහතා සිය සටහනේ දක්වා ඇත.