FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද (31) විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, වහාම දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්නැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කර තිබේ.

අචල වෙන්ගප්පුලි, පී පද්මන් සූරසේන හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය ලබා දුන්නේ. අදාළ පෙත්සම සැප්තැම්බර් 09 වනදා යළි කැදවීමට නියමිතය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණි.

ඔහු ඇතුළු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්
වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

එවකට අගවිනිසුරුව සිටි ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ නලීන් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුන්නේය.