(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තරුණ සමාජයේ විශ්වාසය දිනාගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකම මෙරට තුළ දේශපාලන හා සමාජයීය වශයෙන් බිදවැටීම් ඇති වූ බවයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවැති තරුණ නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
තරුණයින් ස්වභාවයෙන්ම අරගලකරුවන් බව පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඔවුන්ගේ හැසිරීම් අසාධාරණ හා අයුක්ති සහගත ලෙස හැදින්විය නොහැකි බවයි.
රංගේබණ්ඩාර මහතා තවදුරටත් මෙලෙස ද කියා සිටියේය.
“මේ වන විට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් එම ව්‍යුහය ගොඩනැගීමයි අගමැතිවරයාගේ අරමුණ වී තිබෙන්නේ. මෙය පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවෙයි. මෙය රට වෙනුවෙන් කරන පුළුල් වැඩපිළිවෙලක්.
කොහොම වුණත් මේ ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුවට කාරක සභා 15ක් පමණ ස්ථාපිත වනවා. අගමැතිතුමා යෝජනා කර තිබෙන්නේ මේ කමිටුවලට තරුණ නියෝජනයන් ලබාදීමටයි. තරුණ අදහස්වලට මුල්තැන ලබාදෙන නායකයෙකු ලෙස අගමැතිවරයා මේ වැදගත් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙනවා.
ඒ අනුව අදාල කමිටුවලට තරුණ නියෝජිතයින් හතරදෙනෙකු පත්කරන්න මේ වන විටත් තීරණය කර අවසන්. යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් නියෝජිතයෙකුද අරගල ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවවලින් නියෝජිතයින් තිදෙනෙකුද පත්කරන්න නියමිතයි. දැනට පවතින ක්‍රමය වෙනස් කරන ලෙස බලකර සිටින තරුණ ප්‍රජාවට එකී යෝජනා රජයට හා පාර්ලිමේන්තුවට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් උදාකිරීමයි මෙහි අරමුණ වන්නේ.“








