(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කර ගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් සමඟ ඊයේ (28) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
පත් ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. ආර්ථික ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ වීරසිංහ මහතා විසින් පැහැදිලි කර දෙනු ලැබිණ.
දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්‍රියාදාමය ඉදිරියටත් කර ගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිතුමා පැවසීය.
මේ වන විට සිදු කෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගැනීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේය. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදු කරන ක්රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත් වීමට තමා සූදානම් බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබී ය.








