FAST NEWS

24×7 Around the Globe

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන පොම්ප කිරීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාදුන් මෙට්‍රික් ටොන් දස දහසේ ඉන්ධන තොගය මේ වන විට කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කරමින් සිටින බව, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි ප්‍රකාශ කළා.

ඒ අනුව, අදාළ ඉන්ධන තොගය අද (20) දිනය අවසන් වීමට පෙර බලාගාරයේ ඇති ටැංකිවල ගබඩා කර ගැනීමට හැකි වනු ඇති බවයි, ඔහු කියා සිටියේ.

ඉන්ධන මෙට්‍රික් ටොන් 1800ක් ඊයේ රාත්‍රී 11.30ට පමණ පළමුව කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කිරීම ආරම්භ කර තිබුණා.

ඒ අනුව, කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි බලාගාර දෙක යළි පණ ගැන්වූ බවයි, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.

කැළණිතිස්ස බලාගාරයට යලි ඉන්ධන ලැබීමත් සමඟ අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද ඔහු කියා සිටියා.