FAST NEWS

24×7 Around the Globe

UPDATE – රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු වයස අවුරුදු 84ක්ව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහරගම – වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු 1964 වසරේ දී සිනමාවට පිවිසුණේ චණ්ඩියා චිත්‍රපටයෙන්.

එහෙත් මුල්වරට ප්‍රදර්ශනය කෙරුණු ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ ධීවරයෝ චිත්‍රපටයයි.

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ රොබින් ප්‍රනාන්දු සටන් කලාවලින් වර්ණ දිනූ අතර, සිංහල සිනමාවේ ඔහු ප්‍රකට වූයේ සටන් නළුවෙකු ලෙසයි.

සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් සුරදූතියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබින් ප්‍රනාන්දුගේ අවසන් අධ්‍යක්ෂණය නින්ජා – ශ්‍රී ලංකා චිත්‍රපටයයි.

බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුලු සිනමා නිර්මාණ 93ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු සමත්වුණා.

ඉරබටු තරුවෙන් පුංචි තිරයට පිවිසුණු ඔහු, සෙක්කුගෙදර, උරුමය සොයා ආදී ටෙලි වෘතාන්ත රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා.

අභාවප්‍රාප්ත සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.