FAST NEWS

24×7 Around the Globe

යහපත් ජීවන රටාවකට මග, කිතුදහම පෙන්වා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන්ද සාමුහිකව ද රටක් වශයෙන්ද අපගේ ආගම් විසින් පුහුණු කළ අධ්‍යාත්මික පරිකල්පනය සහ විනය වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක්වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ , පවතින ගෝලිය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකුලව සැමරීමට සිදුව ඇති බවයි.

අදට යෙදී තිබෙන නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා පැවසුවේ, අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාව පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැම දෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවයි.

කරුණාව, ප්‍රේමය වැනි උත්කෘෂ්ඨ ඉගැන්වීම් තුළින් අනවබෝධය තුරන් කොට පාප අන්ධකාරයෙන් මිදුණු යහපත් ජීවන රටාවකට මග කිතුදහම පෙන්වා දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.