FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගය පක්ෂයේ පිරිස අද (16) කොළඹ නගරයට යම් විරෝධතාවක් සඳහා ඒකරාශීවන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය වැළැක්වීම සඳහා පොලීසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කර ඇති ගැසට් පත්‍රයට අනුව, ඔහුගේ අවසරය නොමැතිව මහජන ඒකරාශී වීම් තහනම් කර තිබෙනවා.

මේ තත්ත්වය මත කොළඹ නගරයට ජනතාව කැඳවීම සම්බන්ධව පොලීසිය කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත තුළ මහෙස්ත්‍රාත් අධිකරණ 7ක් මගින් එවැනි ඒකරාශිවීම් තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව, රැස්වීම සඳහා මහජනතාව ඒකරාශී වීම, කැඳවීම, සහභාගීවීම නිතී විරෝධී බවයි ඔහු සඳහන් කර සිටියේ.

යම් පුද්ගලයෙකු එලෙස කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මගින් පොලිස් නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.