FAST NEWS

24×7 Around the Globe

කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතයි.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත අද පෙරවරුවේ භාරදෙනු ඇති.

අජිත් නිවාඩ් කබ්රාල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු වෙන එම මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා ජයන්ත කැටගොඩ ඔහු එවකට දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය ජූලි හයවැනි දා ඉවත් වුණා.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ හෙට හෝ අනිද්දා දිවුරුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හෙට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත යි.

ඒ අනුව නව අධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ව අජිත් නිවාඩ් කබ්රාල් එළඹෙන බ්‍රහස්පතින්දා එම ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත යි.