FAST NEWS

24×7 Around the Globe

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාව පවතින බවත් ඔවුන් සඳහන් කරනවා.

එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.