මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ සාධාරණ සමාජයක් ගොඩනැඟීම වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවට නැංවීමට කැපවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අමතමින් පැවැසීය.
ඊයේ (12 වැනිදා) සවස බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැති ආදාහන පූජෝත්සවය අමතමින් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
අද ඉතිහාසයේ පළමු වතාවට අප මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් වෙනුවෙන් රාජ්‍ය සම්මාන සහිතව අවසන් ගෞරව දක්වනවා.
සෝභිත හිමියන් යම්කිසි නිකායක මහනායක හිමිනමක් නොවේ. රදගුරු ප්‍රසාදි වහන්සේ නමක් නොවෙයි. හින්දු ඉස්ලාම් පූජක පක්ෂවල ප්‍රධානියෙක් නොවේ. රාජ්‍ය නායකයෙක් නොවේ.
උන්වහන්සේ දානපතියෙක් නොවේ. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. බුදුන් වහන්සේගේ සංඝ සමාජයේ සාමාජිකයෙක්. උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පමණයි.
සෝභිත හිමියන් බුදුන් වහන්සේගේ අඩිපාරේ යමින් දේශනා කරමින් ජනතාවගේ මනස සකසා සහාය දිනා ගත්තා. දශක හතරකට වැඩි කාලයක් උන්වහන්සේ ජනතාවට ධර්මය දේශනා කළා.
ඒ දේශනාවෙන් බුදුන්ගේ ධර්මයට බුදු වදනට පමණක් සීමා වුණේ නැහැ. යහපත් සමාජ පරිසරයක් තුළ නීතිය රජ කරවන්න ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන්න උන්වහන්සේ උත්සාහ ගත්තා.
එහිදී උන්වහන්සේට වැටහුණා රටේ ජනතාව එකමුතු කර තමන්ගේ උත්සාහය ජය ගන්න නම් සාධාරණ සමාජයක් තිබිය යුතුයි කියා. එනිසා සාධාරණ සමාජයක් ඇති කරන්න සෝභිත හිමියන් දේශනා කළා.
උන්වහන්සේ දේශපාලනයෙන් තොරව එහිදී අපට කතා කළා. එනිසාම ඒ දේශනා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බලපෑවා. කිසිදු ජාති ආගම් කුලබේදයක් තිබුණේ නැහැ. සියලු දෙනා එකතු කරගන්නයි උන්වහන්සේ ක්‍රියා කළේ. ඒ සටන උන්වහන්සේ ඉදිරියට ගෙන ගියා. සම්පූර්ණ කාලය යෙදෙව්වේ ඒ සඳහා. එහිදී තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව කල්පනා කළෙත් නැහැ.
අපට මතකයි අවසන් කාලයේ උන්වහන්සේ ගිලන්ව සිටිමින් ගත්ත උත්සාහය. මේ නිසාම රටේ යහපාලනය ඇති කරන්න විප්ලවයක් ඇති වුණා. මේ රටේ සාධාරණ සමාජයක් ඇති කිරීමයි උන්වහන්සේගේ අරමුණ වුණේ. එහෙත් එය ඇති කිරීමට පෙර සෝභිත හිමියන් අපෙන් වෙන්වුණා.
ඒ බුදු දහමේ ස්වභාවයයි. මේ නිසා උන්වහන්සේ වෙනුවෙන් අපට කළ හැකි එකම කාරණය සෝභිත හිමියන් බලාපොරොත්තු වූ සාධාරණ සමාජය ඇති කිරීමයි. ඒ සඳහා අප සියලු දෙනා කැප වෙනවා.
උන්වහන්සේ රට වෙනුවෙන් කළ ඒ සේවයට උපහාර දක්වමින් සෝභිත හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.







