FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙනවා – අජීත් පී පෙරේරා

දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසී යැයි බීබීසී සංදේශය වාර්තා කරයි.

ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා සම්බන්ධ ප්‍රශ්නය පමණක් නොව තවත් බොහෝ පරීක්ෂණ කෙරෙහි තම විශ්වාසය බිඳ වැටී ඇති බව ද ඔහු එහිදී කියා සිටියේ යැයි සංදේශය කියයි.

‘අපි දන්නවා කලින් අල්ලස් දූෂණ කොමිසම අකාර්යක්ෂම කිරීමට හේතු වුණා කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයකුගේ, එවකට ඇමතිවරයකු ගේ දේපල පිළීබඳ කාරණය. ඒ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ ආරම්භ වුණේ නැහැ. තව කාරණා බොහොමයක් තියෙනවා. ඔබට මතක ඇති හිටපු ජනාධිපතිවරයා ගේ නිල බෙන්ස් රථයේ අංකය භාවිත කළ රේසිං කාර් එකක් අත්අඩංගුවට ගත්ත. අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ. මේ වන විට ඒ රථය අධිකරණ භූමියේත් නැහැ. මට ආරංචි වුණා ඒ රථය ආපසු භාර දීල කියල. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකු ගේ නිල රථයක අංකයක් භාවිත කරපු රථයක් කොහොමද ආපසු භාර දෙන්නේ කියල.’ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසී ය.

මෙවැනි කාරණා නිසා නව රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද බිඳ වැටී ඇති බව තමා පිළිගන්නා බව ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

යුක්තිය ඉටු වනවා මෙන්ම යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතු බව ද අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ය.