FAST NEWS

24×7 Around the Globe

රස පරීක්‍ෂක හා CID කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමෙන් අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් අද දිනයේදී පිටත්ව ගොස් ඇත.  

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා නෞකාව මගින් ඔවුන් රැගෙන ගිය බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුව ඇති බලපෑම සොයා බැලීම සඳහා මුහුදු ජල නියැදීන් ලබා ගැනීම සහ ස්ථානීය නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා, විමර්ෂණ කණ්ඩායමක් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට පහසුකම් සලසන මෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ අනුව, අනතුර සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරින්ගෙන් යුත් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ෂණ කණ්ඩායම මෙලෙස අද දින රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කර ඇත.