බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අලූත්ගම, කළුතර, මතුගම යන පර්යන්තවලින් ආරම්භ කළ පෞද්ගලික බස් රථ වර්ජනය තවත් මාර්ග කිහිපයක මේ වන විට ක්රියාත්මක වේ.
ගාල්ල, මාතර, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය යන පර්යන්තවලින් කොළඹට පැමිණෙන පෞද්ගලික බස් රථ ද මෙම වර්ජනයට එක්ව තිබේ.
මේ හේතුව නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය.
පසුගිය 5 වනදා කටුබැද්ද ඩිපෝවේ සේවය කරන රියදුරෙකු අලූත්ගම – කොළඹ ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ශ්රී ලංගම සේවකයා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් එම වර්ජනය ආරම්භ කෙරුණි. නියමිත කාල සටහනකට ලංගම බස් රථ ධාවනය නොවන බවට ද පෞද්ගලික බස් රථ රියදුරන් චෝදනා කරනු ලැබීය.
අද දිනයේදී මේ පිළිබදව බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී විසඳුමක් නොලැබුණහොත් එම වර්ජනය අඛන්ඩව ක්රියාත්මක කරන බව අලූත්ගම පෞද්ගලික බස් රථ රියදුරන්ගේ සංගමයේ සංවිධායක යූ.කේ.කුමාරරත්න රේණුක මහතා සදහන් කළේය.
මේ අතර වර්ජනය ක්රියාත්මක වන අතරතුර ධාවනය වූ දුර ගමන්සේවා පෞද්ගලික බස් රථ කිහිපයකට අලූත්ගම ප්රදේශයේදී ගල් ප්රහාරයක් එල්ලවී තිබේ.
ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලීසිය සඳහන් කළේය.







