FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමට ලැබුණු පැමීණිලි 10 ක විමර්ශන අවසන් අදියරට.

බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිලි 10ක් පමණ විමර්ශන මේ වන විට අවසන් අදියරට එළඹ ඇති බව එම කොමිසම පවසයි.

පසුගිය සිකුරාදා දිනය වන විට කොමිසම වෙත පැමිණිලි 1157ක් ලැබී තිබූ බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

ඉන් පැමිණිලි 700ක් පමණ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට අදාළ නොවන බවද ලැසිල් ද සිල්වා මහතා පවසයි.

2010 – 2015 අතර කාලය තුළ සිදුවූ බරපතළ වංචා හා දූෂණ පිළිබඳ සොයාබැලීම සඳහා මෙම කොමිසම පත් කෙරුණි.

ඒ අනුව තම විෂය පථයට අදාළ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

කොමිසම වෙත ලැබුණු පැමිණිලි හා පෙත්සම් වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය හා ජාතික තලයේ දේශපාලනඥයින්ට එරෙහිව ඉදිරිපත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.