FAST NEWS

24×7 Around the Globe

ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර ඇත.   

එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමග ඔවුන් එම තීරණය ගෙන ඇත.

ඉන්දියාව තුළ ඇති ඉල්ලුම සපුරාලන තෙක් එම එන්නත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී අපනයනය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

කොවැක්ස් පහසුකම යටතේ එන්නත අපේක්ෂාවෙන් සිටි රටවල් 190 කට පමණ මෙමගින් බලපෑම් එල්ලවනු ඇතැයිද සඳහන්.

මේ වනවිට රටවල් 76 කට ඉන්දියාව විසින් ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි 06 කට අධිකයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන එන්නත් කරන ආධාර පහසුකම හෙවත් COVAX පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් මෙරටට ප්‍රදානය කරනු ලැබීය.

එහි පළමු මාත්‍රා තොගය මේ වන විටත් මෙරට තුළ භාවිත කරන අතර දෙවන මාත්‍රා තොගය අප්‍රේල් මස මැද භාගයේ දී මෙරටට ලැබීමට නියමිතව තිබුණි.